Wednesday, October 24, 2012

හෝඩියේ ළමයින්ගේ පාසල් කට් කිරීම...



අද උදෙත් වෙනදාවගේම ටිකක් පරක්කු වෙලාමයි ඇහැරුනේ, කොහෙද මේ ජන්ගමේ තියනවනේ ජරා බොත්තමක් ස්නූz ද මොකද්ද කියලා, . එලාම් එකක් වදින වාරයක් පාසා ඕක තමයි එබෙන්නේ නිද්දෙන්ම.
කඩිමුඩියේ ලැහැස්තිවෙලා බස් හෝල්ට් එකට අවේ ඉක්මනින් වැඩට යන්න. පෞද්ගලික බස් විතරක් තියන පාරේ බස් යන්නෙත් උන්ට ඕනි වෙලාවට.  බස් එකක් තිබ්බෙත් නැති නිසා හෝල්ට් දෙකක් තුනක් එහායින් තියන පාසල ගාවට පයින්ම ගියේ ඔෆීසයට යන කාගේ හරි වාහනයක්වත් හමුවෙයි කියලා හිතාගෙන.

පාසල් ජීවිතයට සමු දීල අවුරුදු දහයකට ආසන්න උනත්, ඒ මතකයට හැමදාම ආදරෙයි. පාසලට ඇදෙන පොඩි උන් දකින කොට ආයෙත් ඒ මතක අතර තනි වෙනවා. හුගක් පොඩි එවුන් අම්මලත් එක්ක ඇවිල්ලා.
ලස්සන පොඩි කෙල්ලෙක් තාත්තගේ අතින් අල්ලන් ඉස්කෝලෙ එනවා. තාත්තට වෙලා ගිහින්ද කොහෙද. පොඩි එකා ඇදගෙන වගේ ගමන. කෙළි පොඩ්ඩ පස්සෙම ඇහැ දිව්වේ ඒකිගේ තිබ්බ හුරතලේට. 


පාසලට ටිකක් මෙහාට වෙන්න අම්මලා ටිකක් පොඩි කුමන්ත්‍රණයක, කුසු කුසුවක්. පිරිමි නම් එක්කෙනෙක් විතරක්ද් කොහෙද. එක වසරේ, දෙක වසරේ ඉන්න දරුවො තාම අතට හිර කරන්. 

අර කලින් කිව්ව පොඩි කෙල්ල එක්ක යන තාත්තා එතනින් යනකොටම , ගෑණු ගොඩේ හිටිය පිරිමි කෙනෙක් මොන මොනවාදෝ කිව්වා මේ තාත්තට. ටිකකින් තාත්තා පොඩි කෙල්ලගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා, ඉස්කෝලෙ යනවද කමක් නැද්ද වගේ දෙයක්, කෙල්ල ඔළුව වැනුවා. දෙන්නා ආයෙම යන්න පිටත් උනා. මගේ බස් එක ආවා. මමත් , අනිත් අම්මලත්, තාත්තලත් තමන්ගේ දරුවත් අරන් ආයෙත් බස් එකට ගොඩ වුනා.

අද හුගක් විට පාසලේ මොනවා හරි ඇති, ශ්‍රමදානයක් වගේ දෙයක්, එහෙම නැතිනම් පන්ති බාර ගුරුතුමා එන්නේ නැතිව ඇති. අම්මලාට කලින්ම පණිවිඩය ලැබිලා වගේ. ඒකයි දරුවෝ ටිකත් අරන් ආයෙත් ගෙදර එන්න පිටත් වෙන්න ඇත්තේ.

අපි පාසල් යන කාලේ අපි කම්මැලි කරත් අම්මලාම බලෙන් අපිව යවනවා ඉස්කෝලෙ. ශ්‍රමදාන, නිවාසන්තර තරග ඒ කාලෙදිවත් මේක වෙනස් වුනේ නෑ. මම මේ කියන්නේ ලොකු පන්ති වලදී නෙමෙයි, පොඩි එකේ , දෙකේ වසරවලදි වත්.

ඒක නිසා අපි හැමදාම පාසල් ගියා. ඉගනත් ගත්තා. දූවිලි නාගෙන සෙල්ලම් කරා. වැස්සෙම තෙමි තෙමි ගෙදර ආවා. වැස්සේ නැටුවා.
පාසලේ ඉදන් ගෙවල් ගාවට තියන හැතැම්මක විතර දුර තරණය කරන්න පැයතුන හතර ගත්තා. අපි නොඅදුනන එක ගහක් ඔය පාරේ දෙපැත්තේ තිබ්බේ නෑ.

ඉස්කෝලේ ශ්‍රමදාන දවසේ දාඩිය දාගෙන වැඩකරා. ශ්‍රමදානයක් මැදදි හම්බවෙන කහට එක, සීනි බනිස් එකෙ අමුතුම රහක් තිබ්බා. නිවාසන්තර ක්‍රීඩා දවස් වල ලොකු අයියලත් එක්ක හරි හරියට නිවාස හැදුවා. තුන හතර පන්ති වල ඉදිද්දිත් නිවාස හදන්න උණ බට හොයන්න ගම වටේ ඇවිද්දා. අපිට හෙම්බරිස්සාවකට එහා ගිය ලෙඩක් හැදිච්ච බවක් මතකයක් නම් නෑ.

අද, අම්මලා මේ හැම අත්දැකීමම ළමයින්ගෙම්න් බලෙන් උදුරා ගන්නවා. බාහිර වැඩක් කරන්න නිකමටවත් අවස්තාවක් දෙන්නේ නැහැ. අද ඒ ආයෙත් ගෙදර එක්කරගෙන ගිය පොඩි එවුන් ටික ගෙදර ගිහින් රූප පෙට්ටියේ යන කෝළමක් දිහා කට අරන් බලන් ඉදියි. හවස පන්තියට ටිකක් කලින් යයි.
හැබැයි ඉස්කෝලෙට ගිහින් ලබන අත්දැකීම් වලට මොකද වෙන්නේ. අම්මළාම පුරුදු කරනවා පාසල කට් කරන විදිහ. කර දඩු උස් වෙනකොට, කොල්ලෝ රංචු ගැහෙන කාලේ ආවාම කිසිම අමාරුවක් නැතිව පාසළ මග හරිනවා මේ පුරුද්ද හින්දම.

පවු ඒ පොඩි උන් ටික, අම්මලාගේ මෝඩ කම් නිසා ජීවිතේ කොපමණ කොටසක් නැතිකරගන්නවද. 



පින්තූරේ ඉස්සුවේ - http://www.sundayobserver.lk/2008/06/29/z_new350.jpg



10 comments:

  1. අනේ මන්දා අප්පා.. දැං කාලේ නං ළමයින්ව දැක්කම මට ඇත්තටම දුක හිතෙනවා...

    අපේ මාමගේ පොඩි කෙල්ල හරි හුරතල්.. කොල්ලා නං මැරිච්ච ආමි කාරයෙක් කියලා කියන්නේ.. මොකද මිනිහා පොඩි සද්දෙටත් උඩ ගිහින් අඬනවා. .. රණවිරු ගීතයක් යනකොට සිරුවෙන් ඉන්නවා ටීවී එක ඉස්සරහා...

    ළමයි දෙන්නා ඉස්කෝලේ යන්න ගත්තම අපිට ලොකු වෙනසක් පෙනුනා... අන්තිමට කෙල්ල පුදුමාකාර විදියට මුරණ්ඩු වෙන්න, හිතුවක්කාර වෙන්න ගත්තා 2 වසරෙදි විතර... බැලුවාම මුන්ට ගෙදර ඉන්න වෙලාවට ඇහෙන්නේම අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා.. පාඩම් කරන්න කියලා ආච්චියි, අම්මයි දෙන්නම දවස තිස්සේම කෑ ගහනවා.. කන්න කෑ ගහනවා.. ඉතිං ළමයිත් ඒ වගේම කෑ ගහනවා... හැමෝම කියන්න ගත්තා දෝනි නං අන්තිම නරකයි දැං කියලා...

    මම එයාලට දුව උනාට, දෙන්නව පැත්තකට කරලා කියලා දුන්නම තමයි දෙන්නම තේරුම් ගත්තේ ළමයා ඇයි එහෙම හැසිරෙන්නේ කියලා... ඒකට ගහලා වැඩක් නෑ කියලා...

    දැං නං ඔන්න යන්තම් ළමයා හරි ගිහින්... ඉන්ටර්නැෂනල් ස්කූල් දාලා තියෙන නිසා මම කිව්වා අඩුම ගානෙ ළඟ තියෙන දහම් පාසලට වත් දාන්න කියලා.. ඒකටත් රටේ තියෙන ලොකුම එක හොයන්නේ නැතුව.. මට තේරෙන විදියට ළමයා වෙනස් උනේ ඒකෙන් තමයි වැඩිපුරම... සාමාන්‍ය ළමයි අශ්‍රය කරන්න ගත්තම....

    නැත්තම් එයා හරි ලොකුවට හිතාගෙන හිටියේ එයා ගැන.. එයා කියන දේම කරන්න ඕනේ.. ඉල්ලන දේම දෙන්න ඕනේ.. දුන්නේ නැත්තම් කෑ ගහලා අඬනවා... අනිත් ළමයින්ට ලොකු කම් පෙන්නනවා.. ඒ ළමයින්ට ගහනවා.. ඔය වගේ... ඔය පොඩි කාලෙදි එහෙම උනාම ලොකු උනාම කොහොම වෙයිද කියලා හිතන්නකෝ ඉතිං......

    මට නං ළමයි ගැන හරි දුකයි.. ඒත් ඉතිං මටත් ළමයෙක් හිටපු කාලෙක මාත් ඔය වගේ නොවී ඉඳියිද... අනේ මන්දා...... රේස් එකට දුවන්න පුරුදු කළේ නති උනොත් උන් අපිට බනියි ලොකු වෙන‌කොට .... අපේ අම්මලට අපි ගැන ගානක් තිබුන් නැ කියලා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති හිරු ඔබේ නිර්ලෝබී කොමෙන්ටුව ගැන.

      ඇත්තටම මේ සමාජ ක්‍රමය ළමයි නිසා ළමයි සෑහෙන පිරිසකට ළමා කාලය අහිමි වෙනවා. ඔය විදිහම සිද්දි මම අහලා තියනවා. අම්මලාගේ එක වීමේ තරගේ නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහින්සක පොඩි එවුන්. ටිකක් ලොකු වුන ගමන් සමාජයට ආපුවම මුන් ටික අතරමන් වෙනවා,

      Delete
  2. වියකී යන ළමාවිය දුක තමා !!!! දෙයියන්ගේ පිහිටෙන් මට නම් කට ඇරල කියන්න පුළුවන් විදියේ ළමා කාළයක් තිබුන . ඒත් අද අම්මලා තාත්තලා .... වයසට යන කොට එහෙම වෙනව ඇති ,

    ReplyDelete
    Replies
    1. අපි සමහර විට එහෙම ළමා කාලය වින්ද අන්තිම පිරිස වෙයි. මොකද මට විශ්වාසයිනේ මගේ පොඩි එකෙක් කවදාවත් මම වින්ද ළමා විය විදින්නේ නැතිවෙයි කියලා

      Delete
  3. ඇත්තටම මාත් හරියට දුක් වෙනවා මටත් ඔය වගේ ළමා කාලයක් හිමි නොවුන එකට

    ReplyDelete
    Replies
    1. ගමේ ගහ කොළ අස්සෙ ගත කරපු කාලෙනම් මගෙත් අවුරුදු පහ හයකට සීමා උනා, ඒ ගැන නම් අද දුක හිතෙනවා

      Delete
  4. අනිවාරෙන්ම හරි.එක පැත්තකින් අම්මල තාත්තල දරුවොන්ට සමහර ජීවිතේට අවශ්‍ය ලස්සන අත්දැකීම් ගන්න දෙන්නේ නැහැ..ඒත් දැන් තියන සමාජ තත්වෙත් එක්ක ළමයි හිර කරගෙන වගේ ඉන්නේ නැතුවත් බැහැ.කොහොම උනත් මම නම් කියන්නේ ඕනවට වඩා හිර කලාමත් දරුවෝ නොමග යනවා..ගානට තියාගන්න ඕන..

    ReplyDelete
  5. ඒක හරි හිරුහිමාවි,
    අද කොහෙද ගුරුවරයා කියන මනුස්සයත් ලිංගික කුහකයෙක් වෙලා නේ, සමාජයෙන් ඇහෙන කතාත් එක්ක අම්මල අසාධාරණම නෑ තමයි. ඒත් අම්මලාගේ වගකීම දරුවම්න් දැනුවත් කරන එක

    හරියට අපි පොඩි කාලේ , කරවල වාඩියට ළමයි අරන් යන බිල්ලන් ගැන තිබ්බ කතාවගේ. කවුරුත් නොදන්න අයෙක් එක්ක යන්න එපා, දෙන කෑමක් කන්න එපා කියනවා වගෙම අද කාලෙනම් ටිකක් ලිංගිකත්වය ගැන දැනුවත් කිරීමකුත් අවශ්‍යයයි

    ReplyDelete
  6. පළවෙනියො වෙන්න පොඩි එවුංව දක්කන එක ළමයින්ට අනවශ්‍ය බරක්. ඒකෙන් වෙන්නෙ ඒ අය ආත්මාර්ථකාමී සහ සමාජයත් එක්ක වෛර බැඳගන්න තැනට පත්වෙන එක.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්, එහෙම වුනේ නැත්තන් කොහොමද අල්ලපු ගෙදර ළමයා පරද්දන්නේ

      Delete