Monday, December 17, 2012

වැස්සෙම ඔෆීසියට


ඔෆීසියට ආවෙම සපත්තු දෙකයි, මේස් දෙකයි ගලවගෙන. උදේ පාන්දරම වැස්සට සපත්තු දෙකම දිය බරියන් වුනා. අම්මගෙන් ඉල්ලා ගෙන ආව කුඩේ යාන්තන් ඔළුව නම් බේරලා දුන්නා.

අද නුවරට එනකොට වෙනදා එන මහරගම බස් එකත් නෑ, රත්නපුරේ බස් එකත් නෑ. නැග්ගා කොළඹ ලංගමයක. ප්‍රයිවෙට් එව්වට ලන්වෙන්නත් බෑ පෝළිම. උදේ මහ පානදර පොළිම්වලත් හිටපන්කෝ. චුට්ටක් පරක්කු වුනත් කමක් නෑ කොහෙත් වහිනවානෙ කියලා නැන්ගා. අයිනක් අල්ල ගත්තා නින්දේ වාඩුව ගන්න ඕනි කියලා හිතාගෙන. කොහේ මේ මගුල් බස් එකේ හරියට වාඩි වෙන්න බෑ. 

කවුරු හරි සත් ගුණවතෙක් සාමාන්‍ය සීට් වල හිටන් යද්දී අල්ල ගන්න තියන පොල්ල අයින් කරලා එතනට කුෂන් එකක් තියන අන්ඩක් පාස්සලා. හොද වැඩේ නම් තමයි. ඒත් ඒ මගුල කුෂන් එකට හේත්තු වෙන්න නම් එක්කෝ අඩි හතර හමාරට වඩා කොට වෙන්න ඕනි, නැත්නම් අඩි හය හමාරකට වඩා උස වෙන්න ඕනි. වාඩිවුනාම බෙල්ල නැමෙනවා ඉස්සරහට. හදපු එකා හදන්න කලින් වාඩිවෙලා බැළුවේ නැද්ද දන්නේ නෑ. අපේ බස් වල සීට් හදන බහුතරෙ ඔහොමනේ. එක්කෝ වාඩිවුනාට පස්සේ කකුල දෙක මොකක්ද වගේ ඈත් කරන්න ඕනි ඉඩ මදි හිනදා. එතකොට එහා පැත්තේ වාඩිවුන එකාට එක තට්ටමයි සීට් එකේ තියා ගන්න වෙන්නේ. කොහොම හරි බස් එකේ සීට එක හදපු මනුස්සයාගේ අම්මටත් එක්ක අද හොදට කිවිසුම් යන්න ඇති. ඒ මදිවට එහා පැත්තේ මනුස්ස්යා වාඩි වුන වෙලේ ඉදන් නිදි. වාඩිවෙලා විනාඩි 3ක් ගියේ නෑ නිදා ගන්න. කෙට්ටු නිසා හොදයි, තකපුඩි දෙන්නෙකුට නම් ඒ සිට එකේ එනවා බොරු. ආය මගක් එද්දී වැස්සපටන් ගත්තා. ඇහැ පියවන් එනකොටම ඇහැරුනේ දකුණේ පැත්තේ අත සීතල වේගෙන ආපු හින්දා. කොරලා තියෙන්නේ. බස් එකේ ජනෙලේ දිගේ වතුර බේරෙනවා, බ්‍රේක් කරන වාරයක් පාසා උරහිසට වතුර බින්දු වැටෙනවා. කුඩේ ඉහලන්ට, නැගිටන් යන්නය ඔන්න ඔහේ හිටියා වාඩිවෙලා. තෙමෙන එකෙන් බේරෙන්නයි, බෙල්ලෙ කැකුම අඩු කර ගන්නයි කරපු සටන හින්දා බහිනකොට ඇග තලා දාල වගේ.

යාන්තන් බැලුම්මහරෙන් බැහැගෙන ඊළග බස් එක ගතතා, බලනකොට නුවර ඉදන්ම ආපු බස් එකක්. යසට වාඩිවෙලා එන්න තිබ්බා. ඒකේ හිටගෙන එද්දී යස ගෑණු දැරිවියෙකුත් හිටියා මට හිටන් හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකෑ වාඩි වෙලා . මම නම් ඇහැක් ඇරලා බැලුවේ නෑ ඕන්. 
යාන්තන් එකෙනුත් බැහැලා, අනිත් බස් එක ගත්තා ඔෆීසිය ගාවට යන්න. ඒ බස් එක ගන්ට යන ගමන් අතර මගදී වැස්ස හුළං වැස්සට දණිස් දේකේ ඉදන් පහළට තෙමුනා. බස් එකෙනුත් බැහැලා ඔෆීසිය ගාවට වැස්සේ පයින් යන්න අම්මරු හින්දා ත්‍රී වීල් එකක් ගන්න යන්න හදනකොටම , ඔෆීසියේ සර්කෙනෙක් හෝන් එකත් ගහලා නතර කරා කාර් එක. දොර ගාව තිබ්බ තඩි වතුර වල මග අරින්න කකුල ඈත් කරපු පාර කලිසමත් ඉරිලා , දවල කන්න යන්න ලන් වෙලා දැක්කේ. හොද වෙලාවට කාටවත් වැඩිය පෙනෙන්නේ නෑ. දන් ඉතින් බොඩිමට ගිහින් ඉදිකටු සෙල්ලම් කරන්න වෙනවා. ආය කලිසන් කියලා මහ ගොඩක් තියනවා කියලය. එපාම කරපු වැඩේ මේ තෙමිච්චි සපත්තු දෙක තමයි.

Saturday, December 15, 2012

ලුණුගම්වෙහෙර ජලාශය


මේක නම් කම්මැලි පොස්ට් එකක් ඔන්න මුලින්ම අනතුරු ඇගෙව්වා,
පහුගිය තන්ගල්ලේ ගමනේ ඉතිරි සිදුවීම ගැන බාගෙට ලියලා පුස් කන ලියමන පැත්තකට දාලා මේ පොස්ට් එක දාන්නේ.

පහු ගිය දොහක මගේ ගජයෙකුගේ මගුලක් තිබ්බනේ තිස්සමහාරාමේ, ආයෙත් ගියා ඉතින් පරණ පාරේම. උඩවලව, තණමල්විල හරහා තමයි ගමන ගියේ.

මගදී ආරන්චියක් ආවා ලුණුගම්වෙහෙර ජලාශය පිරිලා වාන් දානවා කියලා. හැරෙව්වා ඒ පැත්තට. ගත්තා පොඩි පොටෝ කෑලි කීපයක්. මේ තියෙන්නේ පිරිලා උතුරන ජලාශය දර්ශන


අපි යනකොට කලින් දවස් ටිකේ වැහැපු වැස්සෙන් පිරිලා තිබ්බෙ ජලාශයේ දොරටු 6ම අඟල් 6 ක ඇරලා තිබ්බා.







 මේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් තියන උස 





.
ඒ වෙලාවෙම ගත්ත වීඩියෝ කෑලි ටිකක්.






Tuesday, December 4, 2012

දඩුමොණරේ ඉගිල්ලෙන අය සඳහා, ආදරයෙන්....


චුට්ටක් වැඩ වැඩි වුන එකට, කම්මැලි කමත් එකතු වුනාම මේ වටරවුම පැත්තට ගොඩ නොවුන තරම්. හැබැයි ඒවාටත් හරියන්න වෙන බ්ලොග් වලටනම් ගොඩවෙලා, ලියලා තියන දෙයක් කියවලා කොමෙන්ට් එකක් කොටලත් ආවා. හැමදාම ලියන්නම් කියලා හිතලා ඇවිත්, අනිත් අය ලියලා තියන දේ කියවලා ඉවර වෙනකොට ලියන්න වෙලා නැති වෙනවා. අන්තිමට ඒක බාලගිරි දෝසෝ වගේ තමයි. කොහොමින් කොහොමේ හරි ඔන්න අද වෙලාවක් ඉතිරි කරගත්තා මේකටත් පෝස්ට් එකක් දාන්න.

මේක ලියන්න අදහස පහල වුනේ මීට සතියකට කලින්. එදා ගිය සෙනසුරාදා දවසේ ගෙදර ඉන්නකොට පනිවිඩයක් ආවා ඔෆීසියේ අයකුගේ අම්මා නැති වෙලා කියලා. අවසන් කටයුතු සිද්ද වෙන්නේ තංගල්ලේ. චුට්ටක් ආරන්චි කරලා බැලුවම කට්ටිය වෑන් එකක් දාගෙන තිබ්බා ඉරිදා රෑ මල ගෙදර යන්න. සදුදා ආපසු වැඩට එන්න තමයි කට්ටියගේ කල්පනාව. නුවර හිටිය මමත් තව දෙදෙනෙකුත් , ඉරිදා දවල් 1ට විතර නුවරින් පිටවුනේ කොළඹට එන්න. එක් අයකුට අයත් මරුටිය තමයි ගමන් සහය දුන්නේ. ටිකක් වෙලා ගිය නිසත්, හතරට වෑන් එක පිටත් වෙනවා කියු නිසත් අපි ටික වේගේ වැඩි කරලා ආවා. 

අපි පූගොඩ හරිය පහුකරලා අලුතින් කාපට් කරපු, වාහන අඩු පාරේ ආවේ පැයට කිලොමීටර් 80 කට එහා ගිය වේගෙකින්. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ පාරේ ගිය හැම වාහනයක්ම ඒ හරිය පහු කරේ ඒ හා සමාන වේගෙකින්. මේ වේගෙන් යන අපිට පිටිපස්සෙන් ආපු යතුරුපැදියක් හෝන් ගහලා , වෙට්ටුවක් දාලා අපිවත් පහුකරන් ඉගිලිලා ගියා. පල්සර් එකක් වගේ මතකය. බයික් එකේ හිටියේ තරුන ජෝඩුවක්. අනිවාර්යෙන් ඔවුන් අපිව පසු කරන්නම් 100 කට ආසන්න වේගෙකින් යන්න ඕනි. අපි එවෙලෙත් කතා කරේ මේ බයික් එකේ වේගේ ගැන . විශේෂයෙනම් තමන්ගේ ආදර වන්තියත් දාගෙන ඉගිලෙන වේගේ ගැන. මොකද බයික් එකක් වගේ වාහනයක යනකොට කුමක් හෝ වුනොත් ඒකෙ පිටිපස්සෙන් යන අයට සිදුවන හානිය වැඩි බව දන්නා කරුනක්. ඒ බයික් එක බොහොම ඉක්මනින්ම අපෙන් ඈත් වුනා. 

අපි පුරුදු ගමන ආවා. හංවැල්ලෙන් තේ එකකුත් බීපු අපි ඉතිරි දුර යන්න පටන් ගත්තා. ටිකක් දුර කොළඹ පැත්තට යනකොට පාරේ වාහන තදබදයක්, ඉස්සරහින් අනතුරක් වෙලා තියන බව ආරන්චියක් ආවා. 
වේගෙන් ආපු බයික් එකක් , ත්‍රීවීලයක වැදිලා, ත්‍රීවිල් එක පෙරලිලා පාර මැද. බයික් එකත් හරහා වැටිලා. සීයට සීයක් විශ්වාස නැතත් ඒ අපිව පහුකර ගෙන ආපු බයික් එක වෙන්න ඕනි. වර්ගය හා පැහැයනම් ඒ වගේ. අපි යනකොට තුවාල කරුවන් රෝහල් වලට අරන් ගිහින්. තුවාල කරුවන්ට අමාරු බව තමයි කියවුනේ.


පාරේ මැද ඔවුන් පැලදාගෙන ආපු හෙල්මට් එක වැටී තිබුනා. එම හෙල්මටයෙන් ඉතිරි වී තිබුනේ ඔළුවේ උඩ කොටස , ආප්පයක මැද වගේ හැඩ තියන කොටසක් විතරයි. ඒකෙන් අනතුරේ තරම හිතා ගන්න පුළුවන්නේ.

අපරික්ෂාකාරී රිය ධාවනය මේකට පැහැදිලි හේතුවක් වෙන්න ඇති. හැබැයි අඩු තරමේ ඔවුන් පැළදි හිස් ආවරන හොද තත්වයේ දෙකක් වුනානම් මේ තරම් අනතුර දරුනු නෝවෙන්න තිබ්බා. අපේ බොහෝ තරුණයන් ලක්ෂ ගානක් දී බයික් එක අරන් , හෙල්මට් එක ගන්න ලෝබ වෙනවා. කීයට හරි හොයා ගන්න පුළුවන් බාල තත්වයක් ඇති හෙල්මට් තමයි හොයන් යන්නේ. මේක මගේ යාළුවෝ කීප දෙනෙකුත් කරා. තව රුපියල් දාහක් හමාරක් වියදම් කරලා තම්න්ගේ හිස බේර ගන්න උත්සහා කරනවානම් බයික් පදින කාටත් වැදගත් වේවි. 

අපේ අයියලා හෙල්මට් දාන්නේ පොලීසියේ දඩයෙන් බේරෙන්න, ඒක නිසා කඩදාසි වලින් වුනත් කමක් නෑ හෙල්මට් එක දාගෙන යන්නේ. ඒත් ඇත්තටම හොද හෙල්මට් එකක් දාගෙන යනවානම් මේ සිදුවන අනතුරු වලින් සිදුවන ජීවිත හානි සෑහෙන ප්‍රමානයක් අඩු කර ගන්න තිබ්බා. මම හිතන විදිහට සම්පූර්ණයෙන්ම මූණ වැහෙන හෙල්මට් එකක් පැලදගෙන යාමත් ඉතා වැදගත්, මේ විදිහේ හෙල්මට් එකක් නිසා ජීව්තය බේර ගත් අයකුත් පහුගිය දිනක මට හමු වුනා. කතාවට කියනවා වගේ ඔහුත් වැටුනට පස්සේ වැදී තියෙන්නේ මූනේ යට කොටස. "හොම්බ" , හැබැයි වෙලාවට සම්පූර්ණ හෙල්මටයක් නිසා ලොකු අනතුරක් නැතිව බේරි තිබ්බා.


මේ ගමනේ ලබපු තවත් අත්දැකීමක් තියනවා, ඒක පස්සට ඉක්මනින්ම කියන්නම්.

යතුරුපැදි භාවිතා කරන ඔබට මට වඩා අත් දැකීම් ඇති, ඒවාත් බෙදා ගන්නවා නම් මේක කියවන කාට හරි ඒකේ වැදගත් කමක් තියේවී

යතුරුපැදි හිස් ආවරන ගැන වැඩි පුර දැන ගන්න ඕනි අය මෙතනට යන්න