Monday, December 17, 2012

වැස්සෙම ඔෆීසියට


ඔෆීසියට ආවෙම සපත්තු දෙකයි, මේස් දෙකයි ගලවගෙන. උදේ පාන්දරම වැස්සට සපත්තු දෙකම දිය බරියන් වුනා. අම්මගෙන් ඉල්ලා ගෙන ආව කුඩේ යාන්තන් ඔළුව නම් බේරලා දුන්නා.

අද නුවරට එනකොට වෙනදා එන මහරගම බස් එකත් නෑ, රත්නපුරේ බස් එකත් නෑ. නැග්ගා කොළඹ ලංගමයක. ප්‍රයිවෙට් එව්වට ලන්වෙන්නත් බෑ පෝළිම. උදේ මහ පානදර පොළිම්වලත් හිටපන්කෝ. චුට්ටක් පරක්කු වුනත් කමක් නෑ කොහෙත් වහිනවානෙ කියලා නැන්ගා. අයිනක් අල්ල ගත්තා නින්දේ වාඩුව ගන්න ඕනි කියලා හිතාගෙන. කොහේ මේ මගුල් බස් එකේ හරියට වාඩි වෙන්න බෑ. 

කවුරු හරි සත් ගුණවතෙක් සාමාන්‍ය සීට් වල හිටන් යද්දී අල්ල ගන්න තියන පොල්ල අයින් කරලා එතනට කුෂන් එකක් තියන අන්ඩක් පාස්සලා. හොද වැඩේ නම් තමයි. ඒත් ඒ මගුල කුෂන් එකට හේත්තු වෙන්න නම් එක්කෝ අඩි හතර හමාරට වඩා කොට වෙන්න ඕනි, නැත්නම් අඩි හය හමාරකට වඩා උස වෙන්න ඕනි. වාඩිවුනාම බෙල්ල නැමෙනවා ඉස්සරහට. හදපු එකා හදන්න කලින් වාඩිවෙලා බැළුවේ නැද්ද දන්නේ නෑ. අපේ බස් වල සීට් හදන බහුතරෙ ඔහොමනේ. එක්කෝ වාඩිවුනාට පස්සේ කකුල දෙක මොකක්ද වගේ ඈත් කරන්න ඕනි ඉඩ මදි හිනදා. එතකොට එහා පැත්තේ වාඩිවුන එකාට එක තට්ටමයි සීට් එකේ තියා ගන්න වෙන්නේ. කොහොම හරි බස් එකේ සීට එක හදපු මනුස්සයාගේ අම්මටත් එක්ක අද හොදට කිවිසුම් යන්න ඇති. ඒ මදිවට එහා පැත්තේ මනුස්ස්යා වාඩි වුන වෙලේ ඉදන් නිදි. වාඩිවෙලා විනාඩි 3ක් ගියේ නෑ නිදා ගන්න. කෙට්ටු නිසා හොදයි, තකපුඩි දෙන්නෙකුට නම් ඒ සිට එකේ එනවා බොරු. ආය මගක් එද්දී වැස්සපටන් ගත්තා. ඇහැ පියවන් එනකොටම ඇහැරුනේ දකුණේ පැත්තේ අත සීතල වේගෙන ආපු හින්දා. කොරලා තියෙන්නේ. බස් එකේ ජනෙලේ දිගේ වතුර බේරෙනවා, බ්‍රේක් කරන වාරයක් පාසා උරහිසට වතුර බින්දු වැටෙනවා. කුඩේ ඉහලන්ට, නැගිටන් යන්නය ඔන්න ඔහේ හිටියා වාඩිවෙලා. තෙමෙන එකෙන් බේරෙන්නයි, බෙල්ලෙ කැකුම අඩු කර ගන්නයි කරපු සටන හින්දා බහිනකොට ඇග තලා දාල වගේ.

යාන්තන් බැලුම්මහරෙන් බැහැගෙන ඊළග බස් එක ගතතා, බලනකොට නුවර ඉදන්ම ආපු බස් එකක්. යසට වාඩිවෙලා එන්න තිබ්බා. ඒකේ හිටගෙන එද්දී යස ගෑණු දැරිවියෙකුත් හිටියා මට හිටන් හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකෑ වාඩි වෙලා . මම නම් ඇහැක් ඇරලා බැලුවේ නෑ ඕන්. 
යාන්තන් එකෙනුත් බැහැලා, අනිත් බස් එක ගත්තා ඔෆීසිය ගාවට යන්න. ඒ බස් එක ගන්ට යන ගමන් අතර මගදී වැස්ස හුළං වැස්සට දණිස් දේකේ ඉදන් පහළට තෙමුනා. බස් එකෙනුත් බැහැලා ඔෆීසිය ගාවට වැස්සේ පයින් යන්න අම්මරු හින්දා ත්‍රී වීල් එකක් ගන්න යන්න හදනකොටම , ඔෆීසියේ සර්කෙනෙක් හෝන් එකත් ගහලා නතර කරා කාර් එක. දොර ගාව තිබ්බ තඩි වතුර වල මග අරින්න කකුල ඈත් කරපු පාර කලිසමත් ඉරිලා , දවල කන්න යන්න ලන් වෙලා දැක්කේ. හොද වෙලාවට කාටවත් වැඩිය පෙනෙන්නේ නෑ. දන් ඉතින් බොඩිමට ගිහින් ඉදිකටු සෙල්ලම් කරන්න වෙනවා. ආය කලිසන් කියලා මහ ගොඩක් තියනවා කියලය. එපාම කරපු වැඩේ මේ තෙමිච්චි සපත්තු දෙක තමයි.

Saturday, December 15, 2012

ලුණුගම්වෙහෙර ජලාශය


මේක නම් කම්මැලි පොස්ට් එකක් ඔන්න මුලින්ම අනතුරු ඇගෙව්වා,
පහුගිය තන්ගල්ලේ ගමනේ ඉතිරි සිදුවීම ගැන බාගෙට ලියලා පුස් කන ලියමන පැත්තකට දාලා මේ පොස්ට් එක දාන්නේ.

පහු ගිය දොහක මගේ ගජයෙකුගේ මගුලක් තිබ්බනේ තිස්සමහාරාමේ, ආයෙත් ගියා ඉතින් පරණ පාරේම. උඩවලව, තණමල්විල හරහා තමයි ගමන ගියේ.

මගදී ආරන්චියක් ආවා ලුණුගම්වෙහෙර ජලාශය පිරිලා වාන් දානවා කියලා. හැරෙව්වා ඒ පැත්තට. ගත්තා පොඩි පොටෝ කෑලි කීපයක්. මේ තියෙන්නේ පිරිලා උතුරන ජලාශය දර්ශන


අපි යනකොට කලින් දවස් ටිකේ වැහැපු වැස්සෙන් පිරිලා තිබ්බෙ ජලාශයේ දොරටු 6ම අඟල් 6 ක ඇරලා තිබ්බා.







 මේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් තියන උස 





.
ඒ වෙලාවෙම ගත්ත වීඩියෝ කෑලි ටිකක්.






Tuesday, December 4, 2012

දඩුමොණරේ ඉගිල්ලෙන අය සඳහා, ආදරයෙන්....


චුට්ටක් වැඩ වැඩි වුන එකට, කම්මැලි කමත් එකතු වුනාම මේ වටරවුම පැත්තට ගොඩ නොවුන තරම්. හැබැයි ඒවාටත් හරියන්න වෙන බ්ලොග් වලටනම් ගොඩවෙලා, ලියලා තියන දෙයක් කියවලා කොමෙන්ට් එකක් කොටලත් ආවා. හැමදාම ලියන්නම් කියලා හිතලා ඇවිත්, අනිත් අය ලියලා තියන දේ කියවලා ඉවර වෙනකොට ලියන්න වෙලා නැති වෙනවා. අන්තිමට ඒක බාලගිරි දෝසෝ වගේ තමයි. කොහොමින් කොහොමේ හරි ඔන්න අද වෙලාවක් ඉතිරි කරගත්තා මේකටත් පෝස්ට් එකක් දාන්න.

මේක ලියන්න අදහස පහල වුනේ මීට සතියකට කලින්. එදා ගිය සෙනසුරාදා දවසේ ගෙදර ඉන්නකොට පනිවිඩයක් ආවා ඔෆීසියේ අයකුගේ අම්මා නැති වෙලා කියලා. අවසන් කටයුතු සිද්ද වෙන්නේ තංගල්ලේ. චුට්ටක් ආරන්චි කරලා බැලුවම කට්ටිය වෑන් එකක් දාගෙන තිබ්බා ඉරිදා රෑ මල ගෙදර යන්න. සදුදා ආපසු වැඩට එන්න තමයි කට්ටියගේ කල්පනාව. නුවර හිටිය මමත් තව දෙදෙනෙකුත් , ඉරිදා දවල් 1ට විතර නුවරින් පිටවුනේ කොළඹට එන්න. එක් අයකුට අයත් මරුටිය තමයි ගමන් සහය දුන්නේ. ටිකක් වෙලා ගිය නිසත්, හතරට වෑන් එක පිටත් වෙනවා කියු නිසත් අපි ටික වේගේ වැඩි කරලා ආවා. 

අපි පූගොඩ හරිය පහුකරලා අලුතින් කාපට් කරපු, වාහන අඩු පාරේ ආවේ පැයට කිලොමීටර් 80 කට එහා ගිය වේගෙකින්. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ පාරේ ගිය හැම වාහනයක්ම ඒ හරිය පහු කරේ ඒ හා සමාන වේගෙකින්. මේ වේගෙන් යන අපිට පිටිපස්සෙන් ආපු යතුරුපැදියක් හෝන් ගහලා , වෙට්ටුවක් දාලා අපිවත් පහුකරන් ඉගිලිලා ගියා. පල්සර් එකක් වගේ මතකය. බයික් එකේ හිටියේ තරුන ජෝඩුවක්. අනිවාර්යෙන් ඔවුන් අපිව පසු කරන්නම් 100 කට ආසන්න වේගෙකින් යන්න ඕනි. අපි එවෙලෙත් කතා කරේ මේ බයික් එකේ වේගේ ගැන . විශේෂයෙනම් තමන්ගේ ආදර වන්තියත් දාගෙන ඉගිලෙන වේගේ ගැන. මොකද බයික් එකක් වගේ වාහනයක යනකොට කුමක් හෝ වුනොත් ඒකෙ පිටිපස්සෙන් යන අයට සිදුවන හානිය වැඩි බව දන්නා කරුනක්. ඒ බයික් එක බොහොම ඉක්මනින්ම අපෙන් ඈත් වුනා. 

අපි පුරුදු ගමන ආවා. හංවැල්ලෙන් තේ එකකුත් බීපු අපි ඉතිරි දුර යන්න පටන් ගත්තා. ටිකක් දුර කොළඹ පැත්තට යනකොට පාරේ වාහන තදබදයක්, ඉස්සරහින් අනතුරක් වෙලා තියන බව ආරන්චියක් ආවා. 
වේගෙන් ආපු බයික් එකක් , ත්‍රීවීලයක වැදිලා, ත්‍රීවිල් එක පෙරලිලා පාර මැද. බයික් එකත් හරහා වැටිලා. සීයට සීයක් විශ්වාස නැතත් ඒ අපිව පහුකර ගෙන ආපු බයික් එක වෙන්න ඕනි. වර්ගය හා පැහැයනම් ඒ වගේ. අපි යනකොට තුවාල කරුවන් රෝහල් වලට අරන් ගිහින්. තුවාල කරුවන්ට අමාරු බව තමයි කියවුනේ.


පාරේ මැද ඔවුන් පැලදාගෙන ආපු හෙල්මට් එක වැටී තිබුනා. එම හෙල්මටයෙන් ඉතිරි වී තිබුනේ ඔළුවේ උඩ කොටස , ආප්පයක මැද වගේ හැඩ තියන කොටසක් විතරයි. ඒකෙන් අනතුරේ තරම හිතා ගන්න පුළුවන්නේ.

අපරික්ෂාකාරී රිය ධාවනය මේකට පැහැදිලි හේතුවක් වෙන්න ඇති. හැබැයි අඩු තරමේ ඔවුන් පැළදි හිස් ආවරන හොද තත්වයේ දෙකක් වුනානම් මේ තරම් අනතුර දරුනු නෝවෙන්න තිබ්බා. අපේ බොහෝ තරුණයන් ලක්ෂ ගානක් දී බයික් එක අරන් , හෙල්මට් එක ගන්න ලෝබ වෙනවා. කීයට හරි හොයා ගන්න පුළුවන් බාල තත්වයක් ඇති හෙල්මට් තමයි හොයන් යන්නේ. මේක මගේ යාළුවෝ කීප දෙනෙකුත් කරා. තව රුපියල් දාහක් හමාරක් වියදම් කරලා තම්න්ගේ හිස බේර ගන්න උත්සහා කරනවානම් බයික් පදින කාටත් වැදගත් වේවි. 

අපේ අයියලා හෙල්මට් දාන්නේ පොලීසියේ දඩයෙන් බේරෙන්න, ඒක නිසා කඩදාසි වලින් වුනත් කමක් නෑ හෙල්මට් එක දාගෙන යන්නේ. ඒත් ඇත්තටම හොද හෙල්මට් එකක් දාගෙන යනවානම් මේ සිදුවන අනතුරු වලින් සිදුවන ජීවිත හානි සෑහෙන ප්‍රමානයක් අඩු කර ගන්න තිබ්බා. මම හිතන විදිහට සම්පූර්ණයෙන්ම මූණ වැහෙන හෙල්මට් එකක් පැලදගෙන යාමත් ඉතා වැදගත්, මේ විදිහේ හෙල්මට් එකක් නිසා ජීව්තය බේර ගත් අයකුත් පහුගිය දිනක මට හමු වුනා. කතාවට කියනවා වගේ ඔහුත් වැටුනට පස්සේ වැදී තියෙන්නේ මූනේ යට කොටස. "හොම්බ" , හැබැයි වෙලාවට සම්පූර්ණ හෙල්මටයක් නිසා ලොකු අනතුරක් නැතිව බේරි තිබ්බා.


මේ ගමනේ ලබපු තවත් අත්දැකීමක් තියනවා, ඒක පස්සට ඉක්මනින්ම කියන්නම්.

යතුරුපැදි භාවිතා කරන ඔබට මට වඩා අත් දැකීම් ඇති, ඒවාත් බෙදා ගන්නවා නම් මේක කියවන කාට හරි ඒකේ වැදගත් කමක් තියේවී

යතුරුපැදි හිස් ආවරන ගැන වැඩි පුර දැන ගන්න ඕනි අය මෙතනට යන්න


Thursday, November 8, 2012

ඕකෙන් තාති ඊයේ බිවුවා... මට අනිකෙන් ඕනී


මේ සිද්දිය මගේ හොදම යෙහෙළිය ගිය බසයක සිදුවුන දෙයක්.
http://www.growingyourbaby.com/wp-content/uploads/2010/01/4506236-2.jpg

සිද්දිය වෙලා තියෙන්නේ  කුරුණෑගල ඉන්ටර් සිටි බස් එකක. බස් එකෙත් ආසන ගානටත් වැඩිය සෙනග ඉදලා තියෙනවා. බසයේ ඉදිරිපස ආසනයක තරුන ජොඩුවක තමන්ගේ පොඩි පුතු පැටියත් එක්ක ඉදලා තියනවා. බස් එක ටිකක් දුර යනකොට පොඩි එකා අඩනවලු බඩ ගිනි වෙලා. අවුරුදු තුනක විතර කොල්ලෙක්. කොල්ලට අම්මගේ කුක්කු බොන්න ඕනි වෙලා. ( ඕක මොකද්ද නේද මන් තුමත් අවුරුදු පහක්ම අම්ම කුක්කු බීල තියනවනේ)  කොල්ල දැන් අඩනවා කිරි ඉල්ලලා. ටිකක් අකමැත්තෙන් වතුර,  ඇපල් දීලා කොල්ල ෂේප්මන්ට් එකක් දාගන්න හැදුවත් පොඩි එකා නෙවෙයි ඒවාට සැලෙන්නේ. කිරිමයි ඉල්ලන්නේ. 

අන්තිමට අම්මා පරාජය බාර ගත්තා, ඇදගෙන හිටිය ඇදුම එහෙම එහෙ මෙහේ කරලා පොඩි එකාට දැන් කුක්කු දෙන්න තමයි ලැහැස්තිය. පොඩි එකත් හරහට වඩා ගත්ත අම්මා ආරක්ෂක උපක්‍රමත් යොදලා දැන් කිරි දෙන්න ලැහැස්ති උනත් පොඩි එකා අඩන එක නතර කරන්නේම නෑ, අම්මත් ආ පුතේ කියලා පොඩී එකාගේ කටට ලන් කරත් පොඩි මෑන් බොන්නේ නැතිව අඩනවා. දැන් අම්මයි පොඩි එකයි අතරේ සංවාදයක් යනවා

ඇයි පුතේ අඩන්නේ හා දැන් බොන්නකෝ අඩන්නේ නැතිව...

පොඩි එකා අඩනවා, මත බෑ.... වුඈ... වුඈ.....
ඇයි පුතේ ?

මත ඕකෙන් බොන්න බෑ වූඈ, වුඈ......, ඕකෙන් තාති ඊයේ බිවුවා... වුඈ ..... වුඈ.... මට අනිකෙන් ඕනී....

අම්මා පත්වුන අසරණ තාවය හිතා ගන්න පුළුවන්නේ

Friday, October 26, 2012

හදවතින්ම ශ්‍රී ලාංකිකයි.... !


මට මේ සිද්දිය මතක් උනේ "සයිබර් ලංකා" එකේ මේ කතාව කියෙවුවට පස්සේ.මංජුල තිලකරත්න මහතා සහ මගීන් . ඒක කියවලා එන්නකෝ ඉස්සෙල්ලාම

මේකයි සිද්දිය.

මේ කියවන ඔබලාට මතක ඇති මීට මාස හත අටක ( දිනය මතක නැත, ආ මාර්තු 16 රෑ ( ගූගල් දෙවියන්ට පින්සිදු වේ වා) ) ලංකාවේ කෞතුකාගාරය හොරු බින්ද කියලා. මාසයක් විතර මේ ගැන කතාවුනා. කඩු ගැන කතා වුනා. රූපවාහිනියේ , පත්තරේ මේ ගැන ලොකු ඉඩක් වෙන් වුනා. කවුරු කවුරුත් කතා කරේ මේ ගැනමයි. කන්න ගියත්, බස් එක එනකන් හෝල්ට් එකේ ඉන්න කොටත්, චුට්ටක අනුමත වුන වෙලාවටත් කතා වුනේම මේ ගැන. බේබිලා ගැන කියවුනා, දුටු ගැමුණුලා ගැන කියවුනා. එහෙම තියෙද්දි පැහැරගෙන ගිහින් නිරපරාදේ ගුටි දීපු සිකුරිටිකෙනෙක් ගැන කියවුනා. කැමරා ගැන කියවුනා. ( දැන් ඔබත් මෙහෙම කර තිබෙනවානම් නම් ෂෙයා කරන්න, මූණු පොතෙන් ඇඩ් එකක්). කොටින්ම මේක තමයි ප්‍රධාන මාතෘකාව වුනේ මිනිස්සුන්ගේ.

ඊට පස්සේ සුපුරුදු නිහඩ තාවය. කටු ගෙයක් නෑ ගානටයි ඔක්කොම හිටියේ, ඉදලා හිටලා පොලිස්පති තුමා වගේ කට්ටිය පොඩි ජෝක් එකක් කරා ඇරෙන්න මේ ගැන මතකයක් තිබ්බෙම නෑ. මිනිස්සුන්ට කතා කරන්න ඕන තරම් මාතෘකා හැදුනා. අපේ දෙශපාලක තුමාලට පින් සිද්දවෙන්න කාටවත් කන ගමන් කතා කරන්න මාතෘකාවක් නැති වුනේම නෑ. බස් හෝල්ට් එකේ ඉන්න ගමන් කාගේ හරි රෙදි ගලවන්න පුළුවන් කම තිබ්බා. ඒකත් කොයි තරම වැදගත් ද නේද.

දැන් මම මේ කියන අත්දැකීමට මුහුණ දුන්නේ ඊටත් මාස කීපයකට පස්සේ. මීට මාස එක හමාරකට දෙක්කට කලින් වෙන්න ඇති. ආයෙත් මිනිස්සු කටු ගේ හොරකම ගැන කතා කරන්න පටන් ගත්තා. මොකද කියනවනම් අපේ උතුම් පොලිසීය බඩුත් එක්ක හොරු අල්ලලා. හිතුවා මදි නීතියෙන් ගැලවිලා ඉන්න. දැන් ආයෙත් පට්ට ගහන්න මාතෘකාවක්. ප්‍රවෘත්ති වල දිගට හරහට මේ ගැන කිව්වා. පැයෙන් පැය යන ඒවගේ අලුත් අප්ඩේට්ස් දුන්නා.
මෙන මේ මාතෘකාව ඇවිළිලා තියන උදයක, මම වැඩට යනවා මගේ පුරුදු බස් එකේ. ගාට ගාට යන ගමනක්. මහ ලොකු සෙනගක් ඇත්තෙත් නෑ අඩු තරමේ සීට් ටික පිරෙන්නවත්. මම වාඩිවෙලා හිටියේ පිටිපස්සෙ සීට් එකට කලින් සීට් එකේ. හරියටම කිව්වොත් පෙම් මුල්ලට ඉස්සරහා සීට් එකේ. පෙම් මුල්ලේ හිටියේ ජෝඩුවක්. පෙම් කරාද දන්නේ නෑ, වයසත් තිස් ගණන් වල අග හරියේ වගේ. මේ දෙන්න දිගටම කතාව. මම ඇහුණා නෑහුනා වගේ කතාව, මට ඇහෙනවා වුනාට මම යනවය ආය ඔය දෙන්නෙක් කතා කරන ඒවට කන් දෙන්න.

ඔන්න මහ හයියෙන් සින්දු ගිය රෙඩියෝවේ ප්‍රවෘත්ති සිරස්තල යනවා. පපර පපර පෑ....

"කෞතුකාගාරයට පැන වටිනා කෞතුක භාන්ඩ  හොරකම් කර පුද්ගලයා පොළිසියට කොටුවේ. ඒ පිළිබද වැඩි විස්තර අටට ඇහෙන අපේ උදා ප්‍රවෘත්ති විකාශයෙන්.... බ්ලා බ්ලා බ්ලා...."

මෙන්න පිටිපස්සේ ජොඩුවගේ කතාව වෙනස් වුනා, එක පාරටම එතන හිටිය පිරිමියා ගැහැණියගෙන් අහනවා,

"ඈ...... කටු ගේ බිඳලද.......................?"

හදවතින්ම ශ්‍රී ලාංකිකයකු නොවේද....

පින්තූරය ඉස්සුවේ- 
http://colombogazette.com/wp-content/uploads/2012/04/colombo_national_museum1t1.jpg

Wednesday, October 24, 2012

හෝඩියේ ළමයින්ගේ පාසල් කට් කිරීම...



අද උදෙත් වෙනදාවගේම ටිකක් පරක්කු වෙලාමයි ඇහැරුනේ, කොහෙද මේ ජන්ගමේ තියනවනේ ජරා බොත්තමක් ස්නූz ද මොකද්ද කියලා, . එලාම් එකක් වදින වාරයක් පාසා ඕක තමයි එබෙන්නේ නිද්දෙන්ම.
කඩිමුඩියේ ලැහැස්තිවෙලා බස් හෝල්ට් එකට අවේ ඉක්මනින් වැඩට යන්න. පෞද්ගලික බස් විතරක් තියන පාරේ බස් යන්නෙත් උන්ට ඕනි වෙලාවට.  බස් එකක් තිබ්බෙත් නැති නිසා හෝල්ට් දෙකක් තුනක් එහායින් තියන පාසල ගාවට පයින්ම ගියේ ඔෆීසයට යන කාගේ හරි වාහනයක්වත් හමුවෙයි කියලා හිතාගෙන.

පාසල් ජීවිතයට සමු දීල අවුරුදු දහයකට ආසන්න උනත්, ඒ මතකයට හැමදාම ආදරෙයි. පාසලට ඇදෙන පොඩි උන් දකින කොට ආයෙත් ඒ මතක අතර තනි වෙනවා. හුගක් පොඩි එවුන් අම්මලත් එක්ක ඇවිල්ලා.
ලස්සන පොඩි කෙල්ලෙක් තාත්තගේ අතින් අල්ලන් ඉස්කෝලෙ එනවා. තාත්තට වෙලා ගිහින්ද කොහෙද. පොඩි එකා ඇදගෙන වගේ ගමන. කෙළි පොඩ්ඩ පස්සෙම ඇහැ දිව්වේ ඒකිගේ තිබ්බ හුරතලේට. 


පාසලට ටිකක් මෙහාට වෙන්න අම්මලා ටිකක් පොඩි කුමන්ත්‍රණයක, කුසු කුසුවක්. පිරිමි නම් එක්කෙනෙක් විතරක්ද් කොහෙද. එක වසරේ, දෙක වසරේ ඉන්න දරුවො තාම අතට හිර කරන්. 

අර කලින් කිව්ව පොඩි කෙල්ල එක්ක යන තාත්තා එතනින් යනකොටම , ගෑණු ගොඩේ හිටිය පිරිමි කෙනෙක් මොන මොනවාදෝ කිව්වා මේ තාත්තට. ටිකකින් තාත්තා පොඩි කෙල්ලගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා, ඉස්කෝලෙ යනවද කමක් නැද්ද වගේ දෙයක්, කෙල්ල ඔළුව වැනුවා. දෙන්නා ආයෙම යන්න පිටත් උනා. මගේ බස් එක ආවා. මමත් , අනිත් අම්මලත්, තාත්තලත් තමන්ගේ දරුවත් අරන් ආයෙත් බස් එකට ගොඩ වුනා.

අද හුගක් විට පාසලේ මොනවා හරි ඇති, ශ්‍රමදානයක් වගේ දෙයක්, එහෙම නැතිනම් පන්ති බාර ගුරුතුමා එන්නේ නැතිව ඇති. අම්මලාට කලින්ම පණිවිඩය ලැබිලා වගේ. ඒකයි දරුවෝ ටිකත් අරන් ආයෙත් ගෙදර එන්න පිටත් වෙන්න ඇත්තේ.

අපි පාසල් යන කාලේ අපි කම්මැලි කරත් අම්මලාම බලෙන් අපිව යවනවා ඉස්කෝලෙ. ශ්‍රමදාන, නිවාසන්තර තරග ඒ කාලෙදිවත් මේක වෙනස් වුනේ නෑ. මම මේ කියන්නේ ලොකු පන්ති වලදී නෙමෙයි, පොඩි එකේ , දෙකේ වසරවලදි වත්.

ඒක නිසා අපි හැමදාම පාසල් ගියා. ඉගනත් ගත්තා. දූවිලි නාගෙන සෙල්ලම් කරා. වැස්සෙම තෙමි තෙමි ගෙදර ආවා. වැස්සේ නැටුවා.
පාසලේ ඉදන් ගෙවල් ගාවට තියන හැතැම්මක විතර දුර තරණය කරන්න පැයතුන හතර ගත්තා. අපි නොඅදුනන එක ගහක් ඔය පාරේ දෙපැත්තේ තිබ්බේ නෑ.

ඉස්කෝලේ ශ්‍රමදාන දවසේ දාඩිය දාගෙන වැඩකරා. ශ්‍රමදානයක් මැදදි හම්බවෙන කහට එක, සීනි බනිස් එකෙ අමුතුම රහක් තිබ්බා. නිවාසන්තර ක්‍රීඩා දවස් වල ලොකු අයියලත් එක්ක හරි හරියට නිවාස හැදුවා. තුන හතර පන්ති වල ඉදිද්දිත් නිවාස හදන්න උණ බට හොයන්න ගම වටේ ඇවිද්දා. අපිට හෙම්බරිස්සාවකට එහා ගිය ලෙඩක් හැදිච්ච බවක් මතකයක් නම් නෑ.

අද, අම්මලා මේ හැම අත්දැකීමම ළමයින්ගෙම්න් බලෙන් උදුරා ගන්නවා. බාහිර වැඩක් කරන්න නිකමටවත් අවස්තාවක් දෙන්නේ නැහැ. අද ඒ ආයෙත් ගෙදර එක්කරගෙන ගිය පොඩි එවුන් ටික ගෙදර ගිහින් රූප පෙට්ටියේ යන කෝළමක් දිහා කට අරන් බලන් ඉදියි. හවස පන්තියට ටිකක් කලින් යයි.
හැබැයි ඉස්කෝලෙට ගිහින් ලබන අත්දැකීම් වලට මොකද වෙන්නේ. අම්මළාම පුරුදු කරනවා පාසල කට් කරන විදිහ. කර දඩු උස් වෙනකොට, කොල්ලෝ රංචු ගැහෙන කාලේ ආවාම කිසිම අමාරුවක් නැතිව පාසළ මග හරිනවා මේ පුරුද්ද හින්දම.

පවු ඒ පොඩි උන් ටික, අම්මලාගේ මෝඩ කම් නිසා ජීවිතේ කොපමණ කොටසක් නැතිකරගන්නවද. 



පින්තූරේ ඉස්සුවේ - http://www.sundayobserver.lk/2008/06/29/z_new350.jpg



Friday, October 19, 2012

වාහන හෝදන්න බොදු කොඩිය සුදුසුද?


අදත් වෙනදා වගේම කාර්යාලයට එන්න බස් එකට නැගලා වම් අත පැත්තේ සීට් එකක් කොණටවෙන්න වාඩි වුණේ, පැයකට ආසන්න ගමන නිවී සැනසිල්ලේ යන්න. මොර දෙන බස් එකේ රේඩියොවත් හිසරදයක් උනත් ඒ ගැන නොසිතා ජනේලෙන් එළිය බලන් ආවේ නිකමට වගේ, කොහොමත් සතියට දවස් පහක් යන පාරේ ආය අමුතුවෙන් බලන්න දෙයක් ඇත්තෙත් නෑ.

කොහොමත් කොට කොට යන බස් එක එක තැනකදී බස් හෝල්ට් එකකදී නතර කෙරුවා. එතන පාර අයිනේ පොඩි ගෙදරක්, මිදුලේ නිල් පාට ත්‍රී වීල් එකක්. ඊයේ වැස්සට අහුවෙලාද කොහෙද උදේ පාන්දරම ත්‍රී වීල් එක හෝදනවා. සරමත් කැහැපට ගහ ගත්ත, උඩු කය නිරුවත් මනුස්සයෙක්. රියදුරු ආසනය ගාව තෙත බරිත  පාට පාට රෙද්දි කෑල්ලක් තියනවා. බස් එක අද්දනකොටම ත්‍රී වීල් එක හෝදමින් හිටි මනුස්සයා, අර රෙදි කෑල්ල අරගෙන චුට්ටක් දිග ඇරලා, වැඩි වතුර මිරිකලා අයෙත් ත්‍රී වීල් එක පිහදන්න ගත්තා. එතකොටම තමයි මම මේ අදුනා ගත්තේ මොකද්ද කියලා, " බෞද්ධ කොඩියක්".
මොහු ත්‍රී වීල් එක පිහ දාන්නේ මේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩියෙන්. හිතට මහ අමුතු හැගීමක් ආවේ ඒක් දකිනකොට. 
ඒ පුද්ගලයා පෙනුමෙන් සිංහල වගේ, ආගම නම් කුමක්ද් දන්නේ නෑ. ඒත් ඒ අපේ කම කියන සංකේතයක්.

පහුගිය දවස් වලදීත මූණ පොතේ අපේ ජාතික කොඩිය රෙද්ද වගේ ඇදගෙන ඉන්න ක්‍රිකට් උම්මත්තිකාවකගේ චායාරූපයක් හුවමාරු වුනා.
මට අහම්බෙන් වගේ මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ ජාතික කොඩිය සම්බන්දයෙන් ඇති ව්‍යවස්තාවක් කියවන්න ලැබුනා, ඒකේ මේ කොඩිය පරිහරණය කිරීම ගැන ඡේද කීපයක් තිබ්බ මතකයි. ඒ අනුවනම් අපි දකින බොහෝ දේ වැරදියි. ජාතික කොඩිය ඇදුම්ක ලෙස භාවිතය, නියමිත සමානුපාතියට නොමැතිව තිබීම,සෘජුකොණාස්ස්‍රාකාර හැඩය ඇර වෙනත් හැඩ , කොඩිය භාවිත කරන උස සහ තවත් බොහෝ දේ එහි තිබ්බ මතකයි.

මේවා පොතට පමණක් සීමා නොවී ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය දුර් භාවිතය පිළිබද නීති ඉදිරියේදි වත් ක්‍රියාත්මක විය යුතුයි, 
හැබැයි මේ වැඩ පිළිවල ආරම්භ කරන විදිය ගැන නම් ප්‍රස්ණයක් නැත්තේ නැහැ, 




ඇමරිකාවේ නම් මේ ජාතික කොඩිය ඇදුමක් ලෙස භාවිතා කිරීමට තහනමක් නෑ කියලා තමයි අහලා තියෙන්නේ, ( 100 % විශ්වාස නෑ , කවුරු හරි මා වැරදිනම් නිවරදි කරන්න ) 
දැන්ම ප්‍රතිකර්මයක් නොයෙදුවොත් තව කාලයක් යනකොට ලංකාවේ කොඩියටත් වෙන්නේ මේ සැන්තෑසියම තමයි.

පින්තූර ඉස්සුවේ - 
http://www.sundaytimes.lk/120429/images/cafe-1.jpg
http://srilankaxnews.com/images/MR_satakaya.jpg

Tuesday, October 16, 2012

සන්ණාලිය නංගා දෙස නොබලන් වපරැසකින්...!



අම්මා බදු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්, 
එම සන්ණාලිය නංගා දෙස නොබලන් වපරැසකින්...!


ලියන්න මාතෘකානම් කීපයක් තිබුනත් තියන රාජකාරිත් , වැඩිමනත් තියන කම්මැලි කමත් හමුවේ ලිවීම නම් දිනෙන් දින පස්සට යනවා.
ඒ අතරේ මම රූපවාහිනියේ කීප වරක් දැක ඇති, ඉතා ආසා කරන ගීතයක් ජංජාලේ කරක් ගහද්දී මුලිච්චි වුනා.
මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචිත, වික්ටර් රත්නායක ගායන ශිල්පියානන් ගායනා කරන ගීතයක්.
සමාජයෙන් කුඩම්මාගේ සැලකිලි ලබන අපේ සන්ණාලි නංගිලා ගැන රචිත අපූරු ගීතයක්, අපුරු පද මාලාවක්. මේ "ගාමන්ට් කෑලී" කියලා දෙකයි පණහේ තත්වයට දාලා කතා කරන මේ දිරිය ලදුන්ට පිං සිද්ද වෙන්න ලංකාවත් ටිකක් හිස කෙළින් තබන් ඉන්නවා. මොවුන් ගැන ලියැවුණ ලිපි බොහෝ ඇති නිසා දැන් මේ ගීතය රස විදින්න.

ඔබට මේ රූප රචනය ගැනත් අනිවාර්යෙන් යමක් කියන්න ඇති, මටනම් මෙය කොතෙක් බැලුවත් ඇති නොවන රූප රචනයක්.


මගේ ගානේ මේ තවත් සන්ණාලි නැගණියන් ගැන කියවුන සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ගීතයක් 



Wednesday, October 10, 2012

කාකි කලිසමද, ජම්පරේ ද?



කලින් පෝස්ටුව  "වැල වරකා කරයි හා තවත් කතා" ලියැවෙන කොටම මේ ටොරින්ටන් ඒකෙ උන පොඩි සිදුවීමක් මතක් වුනා.

මීට අවුරුදු කීපයකට කලින් දවසක මගේ ගජයෙක් වුන බංඩට ගන්න ඕනි වුනා කලිසමක්. ගෙදෙට්ට වෙලා ඔහේ ගත කරන කාලේ නිසා යාළුවෙක් ඇදුමක් ගන්න එකත් දවසම ගත කරන්න හොද හේතුවක්. මටත් ආරධනා ලැබුනා මේ කලිසමක් තේරිමේ මහත් බැරෑරුම් සංග්‍රාමයට එකතු වෙන්න.

කොහොමත් සල්ලි භාගේ අතේ ගැවසුනේ නැති , ගෙදරින් යැපෙන කොල්ලෝ වුන අපි අපේ සංග්‍රාමය පටන් ගත්තේ ටොරින්ග්ටන් එකෙන්. මම කලින් පෝස්ට් එකේ කිවුවා වගේ මේ ටොරින්ටන් උඩ තට්ටුවේ බිම ගොඩ ගහගත්ත ඇදුම් බොහොම ලාභෙට විකිණෙනවා. අපිත් හොස්ස දැම්ම මේ පැත්තට. වෙළදුන් දෙතුන් දෙනෙක් ගාවට ගිය බංඩා එක වෙළෙන්දෙක් ගේ ගාව නැවතිලා කලිසමක් අතට ගත්තා. කලිසම කාකි පාට කලිසමක් (ඔව් ඔව් අපේ පොලිස් මාමලා අදින පාට.)  

බංඩා - අයියා මේ කලිසම කීයද?

කඩේ අයියා - ආ ගන්න මල්ලී ඕක@#* (ගානක් කිව්වා)

මම-  ඒයි උඹ ඕක ගන්නද යන්නේ , ඈ යකෝ ඕක නිකන් පොලිසියෙන් උස්සපු කලිසමක් වගේනේ ( මූ මාව එක්කරගෙන ආවෙත් ඔය වැඩේටනේ)

බංඩා - ඒක තමා නේද බන්, හරි නෑ නේද

දැන් තමන්ගේ වෙළදාම කැඩුන එකට කඩේ අයියට (කඩේ කිව්වට , පේමන්ට් එකේ රෙදි ගොඩ ගහන් ඉන්න ) තද වුනා.

මම බංඩට පෙන්නුව තව ක්‍රීම් පාට කලිසමක්, මචන් බලපන් අරක හොදයිද කියලා.

මල පැනලා හිටි කඩේ අයියා ගත් කටටම කියපි

"ආ මල්ලි ඒක ජම්පරයක් වගේ , ඒක හරියන්නෙත් නෑ "

එන පොට හොද නෑ වගේ, ගුටි සුවද දැනෙන්න පටන් ගත්ත, අපි දෙන්න සුටුස් ගාලා එතනින් මාරු වුනා.

පින්තූරය ඉස්සුවේ -  http://www.sundayobserver.lk/2011/12/25/fea04.asp

Thursday, October 4, 2012

වැල වරකා කරයි සහ තවත් කතා



පටන් ගත්තා උනත් මේ කම්මැලිකමත් එක්ක බෑනේ මුකුත් කරන්න.
කම්මැලි කම පැත්තකින් තියලා යන්නේ මම මේ වටරවුමේ  පොඩි කයියක් ගහන්න අපේ ලංකාවේ මාර්කටින් ගැන.

ඔය උඩින් දාල තියන එක අපි හුග දෙනෙක් අහලා තියනවා නේ.
"වැල වරකා කරයි " කියලා විකුණන්නේ මොනවද කියලා. අපේ මාතලන් ගොයියත් , ඒතුමාගේ හිට් වුණ "කොමු පිළි" කතා සීරිස් එකේත් ඔය ගැන සදහනක් තිබ්බ මතකයි.

එතකොට "අල බතල කරයි" කියලා විකුණන්නේ ජොක්කු නේ.

ඔය උඩින් කිව්ව කතා දෙකනම් මම කවුරුත් වෙළෙන්දෙක් කියනවා අහලනම් නෑ, හැබැයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මීට කාලයකට කලින් මම අහපු කාරණයක් මතක් වෙලා.

මෙතන ඉන්න බොහෝ දෙනෙක් නුවර "ටොරින්ටන් වෙළද සංකීර්ණය" ගැන දන්නවා ඇති. නොදන්න අයට ඒක නිකන් පොළක් වගේ තැනක්. කුඩා වෙළොන්දෝ ගොඩක් ඉන්න, ළගින් ගියත් කඩේ ඇතුලට බලෙන් කතා කරලා ගන්න විදිහේ තැනක්. (හැබැයි කොටුවේ තියන කඩ තරම්නම් බරපතල තත්වයක් නෑ). කාලයක් තිස්සේ මේ ටොරින්ටන් එක උඩ තියන කොටසෙත් වෙළද කටයුතු කෙරුනා. ඇත්තටම මේක බංකු ටිකක් දාල, ගස් වවලා එහෙම තියෙන්නේ ටිකක් පාර්ක් එකක් වෙගේ වෙන්න. හැබැයි එතන වැඩිහරියක් හිටියේ වෙළදුන් හා හිඟමන් යදින්නන්. මීට අවුරුද්දකට එක හමාරකට කලින් මේතන හිටිය වෙළදුන්ට ස්ථාන මාරුවක් ලැබුනා නුවර අලුත් වාහන නැවතුම්පොළේ (සිංහළෙන් කිව්වොත් කාර් පාර්ක් එකේ) උඩ කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩට. එතනට බඩුවක් (භාන්ඩයක් - ඇදුම් තමයි තිබ්බේ වැඩි හරියක්) ගන්න යන මිනිස්සුන්ට වෙනමම යන්න ඕනි. ඒක  නිසා වෙළෙදුන්නම් එච්චර කැමැත්තක් තිබ්බේ නෑ මේ වැඩේට. මොකද කලින් වගේ පාරේ යන මිනිස්සුන්ට බලෙන් ඇදුම් ඇඟේ ගහන්න උනේ නැති නිසා.

දැන් මේතන හිටි වෙළෙන්දන්ට ප්‍රස්නයක් ආවා කොහොමද අලුත්තැනට මහජනතාව හුරු කරන්නේ කියලා. එයට ඔවුන් අලුත් පිළියමක් යෙදුවා. 
ඔවුන් එක මනුස්සයෙක් යෙදෙවුවා කලින් ටොරින්ටන් ගේට්ටුව ගාවට. ඔහු ලොකු කුඩයකුත් ඉහලගෙන , ඉස්සර ඉස්කෝල වල ගහන බෙල් එකකුත් ගහමින් මිනිස්සුන්ට අලුත්තැනට යන්න පාර කිව්වා. ඒ වෙනකොටත් ඊ තල වලින් යන මාරගය ලකුණු කරලා තිබ්බේ.

මේ තියෙන්නේ මහනුවර ටොරින්ටන් වෙළද සංකීර්ණය

 ( බෙල් එක ගහමින් හිටියේ හරියටම මේ පින්තුරේ කුඩයක් තියන කණුවට නෙවේ අනිත් ගේට්ටු කණුවට හේත්තු වෙලා, ඔය විදිහම කුඩයක් ඉහලාගෙන.
අනිත් කෑ ගහපු කොල්ලා හිටියේ පින්තූරේ කුඩේ තියන තැන පේමන්ට් එක පැත්තට වෙන්න පහළ තියන කඩ වලට පාර පෙන්වමින් )


ටොරින්ටන් එක ගැන දන්න අය දන්නවා එය මහල් දෙකකින් ( ඇතටම පාර මට්ටමට පහළින් තිබ්බ එක මහලයි, කලින් සිද්දිය සිදුවුන ඒ මහලේ කොන්ක්‍රීට් ස්ලැබ් එකයි ) සමන් විත බව. ටික දවසකින් මේ බෙල් එක ගහන මනුස්සයට ප්‍රතිවාදියෙක් පහළ කඩ හිමියන් විසින් යොදවලා තිබ්බ. අන්න ඒ මනුස්සයා ( ඇත්තටම කොල්ලෙක්,  කලින් බෙල් එක ගහ ගහ හිටියේ සරමක් ඇදගත්ත බුලත් විටක් කාපු මනුස්සයෙක්) මිනිසුන්ට කෑ ගහපු විදිහ කියන්න තමයි මම මේ මෙච්චර මහන්සි වුනේ. එය හරිම සුන්දරයි, ඒ වගේම හරිම ඇට්ට්‍රෑක්ටිව්. මේ කොල්ල කෑ ගහනව මෙහෙම

" ඉහළන්ට කුඩ නෑ, හොල්ලන්ට ටක නෑ- ඒ හින්දා ගණන් නෑ " 

ඇදුමක් ගන්න යන්න හිතෙනවා නේද පින්වතුනි.

ප:ළි - 
මට කතා කීමේ මහ හැකියාවක් නෑ. අඩුපාඩු පෙන්නලා දුනොත් ඉතා සතුටින් බාර ගන්නවා. 
සිංහළෙන් මෙච්චර දිගට ලීවේ සෑහෙන කාලෙකට පස්සෙ ( මතක හැටියට උ/පෙ වළින් පස්සෙමද කොහොද, එතනම අවුරුදු 8 -9 ක්) ඒක නිසා සෑහෙන වැරදි ගණනාවක් ඇති. 

පින්තූරය ඉස්සුවේ -  http://www.nethsaralanka.org/index.php/Kandy---The-World-Heritage-City/Kandy-Torrington-Shopping-Complex

Wednesday, October 3, 2012

වටරවුමේ පළමු හමුවීම


ම්.. ම්.. ම්...
පටන් ගන්න ගියපු කාලයක්,
මම මේ බ්ලොග් කියවිල්ල පටන් ගෙන සෑහෙන කාලයක් වෙන්න ඕනි. ම්ම හිතන්නේ 2009 අවුරුද්දේ විතර ඉදගෙන. කලින් පාවිච්චි කලේ වෙන නමක්. ඒත් මේ ළගකදී ඒ නම වෙනස් කරලා මේ "මුදියන්සේ" කියන නමට බැස්සා, ඒක එක අතකින් මට පරම්පරාවෙන් උරුම වුනු නමේම කොටසක්.

මේ දිනවල බරපතල වැඩ අහේනියක් මුහුණ දීලා ඉන්නේ, වස කම්මැලියි. ඒත් හිතටනම් නිවනක් නෑ, යකා ගේ කම්මල වගේ. හරි හිස් බවක් දැනෙන්නේ. හිස් කමට කෙල්ලෙක්ගේ සම්මබන්දයක් තියනවද කියලා අහන්න ඕනි නෑ, අනිවාර්යෙන්ම සම්බන්ධයි. උදේ ඉදන් බ්ලොග් කියවන ඒක තමයි මේ දවස් වල කරන්නේ. පරණ පොස්ට් හොය හොය කියවනවා. කාගේ හරි බ්ලොග් රෝළක එල්ලලා තියන බ්ලොග් හොය හොය යනවා කිය්වන්න. මේක කොටන්න ගත්තෙත් එහෙම හොයලාකියවන්න දෙයක් නැති කමට ඇති වුන පාලුව මකා ගන්න.  මට මතක විදිහට මම මේ "වට රවුම" කියන නම තෝරාගෙන තීම් එකක් හොරකන් කරගෙන මේ වැඩේට ලැහැස්ති වුනේ අවුරුදු දෙකකට විතර කලින්. පේනවනේ පෝස්ට් එකක් දාන්න ගියපු කාලය. මම කලින් කරගෙන ගිය බ්ලොග් එකත් පෝස්ට් 25 කින් නතර වෙළා, අන්තිම එක දාල තියෙන්නේ 2010 අවුරුද්දේ දවසක. හිතනවා මේකවත් කරගෙන යන්න දිගටම.
බලමු, ඔබලාගේ සහයෝගය ඕනි වෙයි මේ වැඩෙට. ඔබගේ කොමෙන්ට් එකක් මාව දිරිමත් කරාවි ඉදිරියට කරගෙන යන්න.
එහෙනම් යාළුවනේ අපි එදිරියට මේ වටරවුමෙත් නතර වෙලා බළමු.